නේචර් ප්ලස් අලුත් වැඩක් කරළියට ගෙනෙයි

Share

නේචර් ප්ලස්’ යනු ආහාර ඇසුරුම් කරන පත්‍ර (ඇතිරිලි) නිෂ්පාදනය කරන, දිරා යන බෑග් ආනයනය කරන සහ ප්ලාස්ටික් ඇසුරුම්කරණයේ නිරත අනාගත දැක්මකින් සමන්විත සමාගමකි. මතු පරම්පරාවට මුහුණ දීමට සිදුවන පාරිසරික විපත් වළක්වා ගැනීමේ අරමුණින් සමාජ මෙහෙවරකට කැපවුණු ‘නේචර් ප්ලස්’ සමාගම දිරා නොයන පොලිතීන් බෑග් සම්බන්ධයෙන් සහ යළි යළි භාවිතා කළ හැකි බෑග් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කරයි.

“අනාගතයේදී සිදුවිය හැකි පාරිසරික උවදුරු වළක්වා ගැනීම සඳහා සුපිරි වෙළෙඳසැල් ඔවුන්ගේ පාරිභෝගිකයන්ට දිරා නොයන පොලිතීන් බෑග් ලබාදීම අවම කළ යුතුයි. සුපිරි වෙළෙඳසැල් මසකට දිරා නොයන පොලිතින් බෑග් මිලියන 40කට ආසන්න සංඛ්‍යාවක් නිකුත් කරනවා. ඉදිරියේදී සිදුවිය හැකි පාරිසරික හානි නැවැත්වීම සඳහා පාරිභෝගිකයන්ට පොලිතින් බෑග් ලබාදීම අවම කළ යුතුයි. කළ යුත්තේ යළි භාවිතා කළ හැකි බෑග් සඳහා යොමු වීමයි. මෙය කාලෝචිත අවශ්‍යතාවක්” යැයි ‘නේචර් ප්ලස්’ සමාගමේ සභාපති මර්වින් ඩයස් මහතා කියයි.

කපු පුළුන්වලින් නිෂ්පාදනය කරන සහ ඊට සමාන අනෙකුත් පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑග් නිෂ්පාදනය දිරිගැන්වීමටත් සුපිරි වෙළෙඳසැල් තුළ එවැනි බෑග් භාවිතය දිරි ගැන්වීමට සහ ප්‍රවර්ධනය කිරීමටත් බලධාරීන් පියවර ගත යුතු යැයි ද මර්වින් ඩයස් මහතා පෙන්වා දෙයි.

“ඇතැම් අවස්ථාවලදී මුදල් ගෙවීම් කරන කවුන්ටර්වලින් අනවශ්‍ය විදියට පාරිභෝගිකයන් පොලිතින් බෑග් ලබා දෙනවා. දිරා නොයන පොලිතින් බෑග් භාවිතය අඩු කිරීමට පාරිභෝගිකයන් සිල්ලර බඩු දාගන්න එක බෑගයකුත් දත් බෙහෙත්, සබන් ආදී පිරිසුදු කරන දෑ දාගන්න වෙනත් බෑගයකුත් භාවිත කළ යුතුයැයි ඩයස් මහතා පෙන්වාදෙයි.

ඉතා විශාල වශයෙන් පොලිතින් බෑග් නිකුත් කරන ස්ථාන ලෙස සුපිරි වෙළෙඳසැල් හඳුනාගෙන ඇතැයි ද සභාපතිවරයා පවසයි. “අද වනවිට ලංකාවේ ප්‍රධාන රෙදිපිළි සාප්පු, හෝටල්කරුවන් සහ වෙළෙඳුන් නැවත නැවත භාවිත කළ හැකි බෑග් හඳුන්වා දී තිබෙනවා. එහෙත් ආහාර නිෂ්පාදකයන් තවමත් භාවිත කරන්නේ පොලිතින්. ආහාර, මස්, සොසේජස්, මස් නිෂ්පාදන, කුළු බඩු, සීනි, තේ කොළ, පරිප්පු යනාදිය ඇසුරුම් කිරීම සඳහා තවමත් යොදාගන්නේ දිරා නොයන බෑග්. ඒ නිසා ඔවුන් ද දිරි නොයන පරිසර හිතකාමී ඇසුරුම් භාවිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතුයි.”

කිසියම් සමාගම් හෝ ආයතනයක් හෝ පොලිතින් බෑග් භාවිතය අඩු කිරීමට සූදානම් නම් එසේ කරන්නේ කෙසේද දැනුවත් කිරීමටත් සහ ඊට සහයෝගය දැක්වීමටත් තමන් සූදානම් බව ද ඩයස් මහතා පවසයි. විදේශ රටවලදී ඔහු එවැනි ක්‍රියාකාරකම්වල නිරතව ඉතා හොඳ පළ පුරුද්දක් ලැබූ අයෙකු ද වෙයි.

Read more

Local News