මෝදී කනස්සල්ලෙන්

Share

ඉන්දු – ශ්‍රි ලංකා හවුල් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දැඩි පමාවක් දක්නට ලැබීම තම කණස්සල්ලට හා කණගාටුවට හේතු වී ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ප්‍රකාශ කර තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ 2017 වසරේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමට අනුකූලව සකස් කර ඇති එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කළ බවයි.

ඉන්දීය සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලි නුවර හයිද්‍රාබාද් මන්දිරයේදි ඊයේ (20) හමු විය.

රාජ්‍ය තාන්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රි ලංකාව වෙනුවෙන් බව පෙන්වා දී ඇති ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එසේ තිබියදීත් ඉන්දියාව විසින් සිදුකරන සත්කාරයන් සඳහා ශ්‍රි ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර පිළිබඳ තමා කණගාටු වන බව සඳහන් කර තිබේ.

තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටලුවක් ඇත්නම් නොපැකිලිව සාකච්ඡා කරන ලෙසද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර තිබේ.

මෙහිදි අදහස් දක්වමින් ශ්‍රි ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ මෝදී මහතා හෝ ඉන්දිය රජය පිළිබඳව කිසිදු සැකයක් හෝ ගැටලුවක් තමා තුල සහ ශ්‍රි ලාංකිකයින් තුළ නොමැති බවයි.

Read more

Local News