එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට කෝටි 530ක් දුන්නා අයවැයෙන් තවත් දෙනවා – ඇමැති මංගල කියයි

Share

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පසුගිය මාස 05 තුළදී ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා රුපියල් කෝටි 530ක මුදලක් දුන් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පවසයි.

ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ‍2019 අය-වැය මඟින් මුදල් ප්‍රතිපාදන වෙන් කරන බවද ඒ වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක කර රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධන වේගයක් ඇති කිරීම රජයේ අරමුණ බවද ඇමැතිවරයා සදහන් කළේය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අගය වැඩි කරන ලද කෘෂිකර්ම නිෂ්පාදන, ධීවර,  අපනයන ආශ්‍රිත නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්ති, තොරතුරු තාක්ෂණය හා සංචාරක යන ක්ෂේත්‍ර සඳහා මේ මුදල් ලබා දී තිබේ.

එමෙන්ම ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 200ක් වැය කර තිබෙන බවද මෙහිදී ඇමැතිවරයා කීය. ඒ යටතේ ග්‍රාමීය යටිතල පහසුකම් ව්‍යාපෘති 45,000ක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් නොවැම්බර් 30 වැනිදා වන විට එම කටයුතු සම්පූර්ණ වන බවත් කීය.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා කොළඹදී පැවති සිල්ලර ව්‍යාපාරිකයන්ගේ සංගමයේ උත්සවයකට සහභාගි වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේ ලබන වසරේදී නව ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීම රජයේ ඉලක්කය හා අරමුණ බවයි.

මේ ණය පහසුකම් සැලසීමේදී පොලී සහන ලෙස රජයෙන් රුපියල් බිලියන 5.2ක් වැය කර ඇති අතර, ලබන මස 05 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත 2019 අය-වැයෙන්ද මේ සහන තවදුරටත් ලබා දීමටද පියවර ගන්නා බව ඇමැතිවරයා සඳහන් කළේය.

Read more

Local News