කරූගෙන් මෙෙත්‍රිට ලිපියක්

Share

කථානායක කරූ ජයසුරිය මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දක්වා ඇත්තේ, පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රී පිරිසකගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා ස්ථාපිත වන තුරු රනිල් වික්‍රමසිංහ මහතාගේ වරප්‍රසාද ආරක්ෂා කර දෙන ලෙස තමන් වෙත එජාපය විසින් ඉල්ලීමක් කරමින් ලිපියක් ලබා දි ඇති බව කථානායකවරයා සිය ලිපියෙන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී, යහපාලනයක් සඳහා වරම් ලබාගත් රජයක් වශයෙන් මෙම ඉල්ලීම කෙරෙහි ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු කරන ලෙස ද එම ලිපියෙන් කථානායකවරයා ඉල්ලා සිටි.

විවිධ පුද්ගලයන් විසින් මාධ්‍ය හරහා තර්ජනය කිරීමේ අවස්ථා කිහිපයක් ද වාර්තා වී ඇති බව පෙන්වා දෙන කථානායකවරයා රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි සිදුව ඇති බවට වාර්තා වන බලහත්කාරී මැදිහත්වීම් ද රට තුළ සාමය බිඳ දැමීමෙන් ඔබ්බට ගොස් අන්තර් ජාතිකව ඇති කරවන බරපතළ හානිය ද කථානායකවරයා මෙමගින් ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

දැනටමත් ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සිය රටවැසියන් අරඹයා නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් නිවේදන තුළින් ද උද්ගතව ඇති තත්ත්වයේ බරපතළකම මැනවින් විද්‍යාමාන වනු ඇතැයි කථානායකවරයාගේ එම ලිපියේ සඳහන්වේ.

කථානායක කරූ ජයසුරිය මහතා සිය ලිපියෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ, මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් මස 16 වැනි දා දක්වා දින විස්සක් අක්‍රියව පැවතීම තුළින් රටට දැඩි අහිතකර වාතාවරණයක් උද්ගතවීමට ඉඩ නොතබන ලෙසයි.

පාර්ලිමේන්තු කල් තැබීම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව විය යුත්තේ කථානායකවරයාගේ අනුදැනුම අනුව බව ද කරූ ජයසුරිය මහතා සිය ලිපියෙන් අවධාරණය කර තිබේ

Read more

Local News