ඛෂෝගි ඝාතනය ගැන තුර්කියෙන් නිල ප්‍රකාශයක්

Share

ජමාල් ඛෂෝගි ඝාතනය කළ ආකාරය පිළිබඳ ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට තුර්කිය පියවර ගෙන තිබේ.

තුර්කි නීතිපතිවරයා ඉදිරිපත් කළ එම ප්‍රකාශයෙහි දැක්වෙන්නේ, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළුවූ විගස ජමාල් ඛෂෝගිගේ ගෙල සිරකර ඔහු ඝාතනය කර ඇති බව වාර්තාවේ.

පසුව පූර්ව සැලසුමකට අනුව ඔහුගේ සිරුර කොටස් කර විනාශකර ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශය තුර්කි රජය වෙනුවෙන් ඔහු සිදුකර ඇත්තේ ඝාතනය පිළිබඳව ඔවුන් වෙත වාර්තා වූ කරුණු පදනම් කර ගනිමිනි.

ඉකුත් ඔක්තෝබර් 2 දින තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු ඝාතනය කරන්නට ඇතැයි පළවූ මාධ්‍ය වාර්තාවලින් අනතුරුව තුර්කිය මෙම ප්‍රකාශය ඉදිරිපත් කළ ද එය තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කර නොමැත.

තුර්කි නීතිපති ඉර්ෆාන් ෆිඩාන් සඳහන් කළේ, ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් විමසීමට සෞදි අරාබි නීතිපතිවරයා හමුවූ නමුත් එම හමුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වූ බවයි.

සෞදි අරාබිය මෙම හමුවීම් පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සෞදි අරාබිය අව්‍යාජ දායකත්වයක් ලබානොදෙනු ඇතැයි ද තුර්කිය ප්‍රකාශ කළේ ය.

ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විවේචනයට ලක් ව ඇති පසුබිමකදී සෞදි අරාබියේ සල්මාන් රජුගේ සොහොයුරු අහමඩ් බින් අබ්දුලාසිස් කුමරු යළි ත් රියාද් නුවරට පැමිණ තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ ආගමනය ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආධිපත්‍යයට තර්ජනයක් වනු ඇති බවට මත පළවන බවයි.

ඉහළ නිලධාරියකුගේ අණදීමකින් තොරව ඛෂෝගි ඝාතනය සිදුවිය නොහැකි බව පවසන තුර්කි පාලක පක්ෂය ඔහුගේ සිරුර ඇති ස්ථානය සෞදි අරාබි බලධාරීන් නොදැන සිටීමට හේතුවක් නැතැයි ද ප්‍රකාශ කළේ ය.

මේ අතර ජමාල් ඛෂෝගි ඝාතනය හමුවේ සෞදි අරාබියට අවි ආයුධ අපනයනය අත්හිටුවීමට ස්විට්සර්ලන්තය පියවර ගෙන තිබේ.

Read more

Local News