ඉංගිරියේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

23

ව්‍යාජ මුදල් නෝට්ටු ලග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඉංගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉංගිරිය, ඌරුගල ප්‍රදේශයේ වෙළඳාම් කරමින් සිටි කාන්තාවකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටුවක් ලබාදි එළවළු හා පළතුරු ලබාගෙන ඇති අතර පසුව අදාළ කාන්තාව විසින් ඒ පිළිබඳව ඉංගිරිය පොලිසීයට පැමිණිලි කර තිබේ.

පසුව ඉංගිරිය පොලීසිය සිදුකළ වැටලීමකදී සැකකරු සහ තවත් පුද්ගලයෙකු ගමන් කළ මෝටර් රථය නවතා පරීක්ෂා කර ඇති අතර එහිදී ඔවුන් සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ නෝට්ටු 13ක් සොයාගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, සැකකරුවන් අදාළ නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්ද සොයාගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 35 හා 39 වයසේ පසුවන පොතුහැර හා මත්තක ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අද(03) දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.