ජනපතිට පාර්ලිමේන්තුව විසුරවිමට හැකියාවක් අැති බව සරත් කියයි

Share

ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිත බවට පළවන තොරතුරු සම්බන්ධයෙන් එහි නීතිමය තත්ත්වය පිළිබඳව ඒ මහතා මෙසේ කරුණු දක්වනු ලැබිය.

“පැහැදිලිවම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන්නේ. ඒක සඳහන් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)  (ඇ)  වගන්තියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන කිසිම විධිවිධානයක් හෝ තිබුණද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමටත්,  සැසිවාරය අවසන් කිරීමට හා විසුරුවාහැරීමටත් බලය ඇති බව පැහැදිලිව එහි සඳහන් කර තිබෙනවා.

පැහැදිලි බලය එතැන තිබෙනවා. ඒවගේම 70 වැනි ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ඇතුළත් වුණෙත් 19 වැනි සංශෝධනයෙන්. 70 වැනි ව්‍යවස්ථාවේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පළමු වැනි වසර හතරහමාර තුළ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් අනුවයි.

33(2) (ඇ) ව්‍යස්ථාව 19 වැනි සංශෝධනයට ඇතුළත් කළේ 2002 දී ඇතිවුණ නඩු තීන්දුවක් අනුවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්න බැහැ. එය ඉවත්කරනවානම් ඒකට ජනමත විචාරයක් අවශ්‍යයි කියන තර්කය මතුවුණා. ජනමත විචාරයක් අවශ්‍ය නොවන විදිහට 33(2) (ඇ) තුළ පූර්ණ බලයක් ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවන්න පාර්ලිමේන්තුව තුළින්ම යෝජනාවක් එනවානම් එය තුනෙන් දෙකක බහුතර බලයක් සහිත යෝජනාවක් ලෙස ඉදිරිපත් විය යුතුයි.

මේ විධිවිධාන දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තිබෙනවා. මේවගන්ති දෙක පරස්පර වෙන්නේ නැහැ. එය අර්ථකථනය කරද්දි අර්ථකථනය කරන ආකාරයක් තිබෙනවා. ඒ අනුව මෙය අමතර බලයක්. ඒ අනුව ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කරන්නෙ අවශ්‍යම අවස්ථාවේ.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම තමයි සුදුසුම ක්‍රියාදාමය කියලා මම හිතන්නේ. නැත්නම් රටේ ලොකු අරාජික තත්ත්වයක් මතුවෙලා තියෙන්නෙ’’.

Read more

Local News