අනිද්දා සිට වැස්සේ අඩුවීමක්

Share

දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතී. ඒ හේතුවෙන් දැනට උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් නොවැම්බර් මස 11 දින සිට බලාපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි ඇති වියහැකි අතර බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කළේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News