ගාමිණි සෙනරත් නඩුව ලබන 14 වැනිදා

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධිචෝදනා පත්‍ර විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන මෙන් ඉල්ලා විත්තිය විසින් ගොනු කරන ලද මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව විභාග කිරීමට අවසර ලබාදීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

ඒ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ලද චෝදනා යටතේ මෙම නඩුව ගොනු වි තිබිණි.

මෙම නඩුව අද (12) සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබිණි.

මෙම මූලික විරෝධතා වලින් තම අධිකරණ බලය සම්බන්ධයෙන් කිසිදු අභියෝගයක් එල්ල කර නොමැති බව තීරණය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු පැවසීය.

ඒ අනුව මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළ විනිසුරුවරු ඒ අනුව නඩුව විභාගයට ගැනීමට තීරණය කළ අතර අනතුරුව නඩුවෙන් එල්ල කරන ලද අධිචෝදනා වලට තමන් නිවැරදි කරුවන් බව විත්තිකරුවන්  ප්‍රකාශ කළේය.

අනතුරුව නඩුව නැවත ලබන 14 වනදා කැඳවීමට නියම කර තිබේ.