නිල කාලය අවසන් වුව ද මහජන සේවාවන් සහ දෛනික කටයුතු සිදුකළ යුතුයි – ජනපති

Share

නිල කාලය අවසන් වූ පළාත් සභාවල ඉදිරි කටයුතු විමසා බැලෙන සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (16) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර එහිදී නිල කාලය අවසන් වුව ද පළාත් සභා මගින් කෙරෙන මහජන සේවාවන් සහ දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරන ලෙස ජනාධිපතිතුමා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දෙයි.
මේ වන විට නිල කාලය අවසන් වූ උතුරුමැද, සබරගමු සහ නැගෙනහිර යන පළාත් වල පළාත් සභා කටයුතු සිදුකිරීමේදී මතුව තිඛෙන ගැටලූ පිළිබදව මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසීය.
එමෙන්ම පළාත් සභා වෙත පැවරී ඇති කටයුතු වෙනත් ආයතන වලට පාලනය කිරීමට ඉඩ නොතැබීමට වගබලා ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා නිලධාරින්ට පෙන්වා දුන් අතර පළාත් සභා වලට වෙන්කර ඇති මුදල් ප්‍රතිපාදන ඵලදායී ලෙස වැයකළ යුතු  ආකාරය පිළිබදව ද උපදෙස් ලබා දෙන ලදී.
අදාළ පළාත් තුළ දේශීය සහ විදේශීය අරමුදල් යොදවමින් සිදුකෙරෙන සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි ද විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්,  එම ව්‍යාපෘති කාර්යක්ෂම ඉදිරියට පවත්වාගෙන යන ලෙසත් උපදෙස් දුන් ජනාධිපතිතුමා එම සියලූ කටයුතු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත සිදුකරන ලෙසට ද උපදෙස් දෙනු ලැබීය.
මේ අවස්ථාවට අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

 

Read more

Local News