බයිබලයෙන් දමා ගැසුවේ නැති බව ජොන්ස්ටන් කියයි

43

පාර්ලිමේන්තුවේදී ශුද්ධ වූ බයිබලයකින් දමා ගැසූ බවට තමන්ට කළ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව වෙළද, පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු විපක්ෂයේ දේශපාලනඥයින් විසින් මෙ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය හා ද්වේශ සහගත ප්‍රචාරයන් බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

එමෙන්ම තමන් අදහන ආගමට තමන් කොතරම් ගරු කරනවාද යන්න ආගමික නායකයින් හොදාකාරවම දන්නා බවද විශේෂයෙන් කිව යුතු බවද අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජනතාව තුල තම පර්ශවය කෙරෙහි අප්‍රසාදයක් ඇති කරවීමට මෙවැනි ආගම හා ශුද්ධ වූ බයිබලය යොදා ගනිමින් සිදු කරන මඩ ප්‍රචාර වලින් පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයේ දේශපාලන බංකොලොත්භාවය බවද අමාත්‍යවරයා පවසයි.

අප විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා කල සටන හා උද්ඝෝෂණ නිසා ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වු බවත් එබැවින් විපක්ෂය විසින් ආගම ධර්මය හා ශුද්ධ වූ බයිබලයට පවා අපහාස කරමින් දේශපාලනයක් කිරීමට තරම් පහත් මට්ටමකට ඇද වැටීම අතිශය ශෝකජනක බවත් අමාත්‍යවරයා එම නිවේදනයේ සටහන් කර තිබේ.

තවද මෙලෙස ආගම් යොදාගෙන කරන මඩ ප්‍රචාර සදහා රනිල් වික්‍රමසිංහ මහතා හා කථානායක කරූ ජයසූරිය මහතා අනුබල දීම කණගාටුදායක බවද අමාත්‍යවරයා පවසයි.