පාර්ලිමේන්තුව ගැන සරත් වීරසේකරගේ පෙත්සම සලකා බැලීමට දින නියම කරයි

Share

 

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැදවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම දෙසැම්බර් මස 4 දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දී තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දහයද එදින කැදවීමට නියමිතය.

එබැවින් මෙම පෙත්සම ද ඒ හා සම්බන්ධ බැවින් එම දිනට කල් තැබීමට අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය තිබේ.

මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර විසින් වන අතර එම පෙත්සමෙන් කථානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැදවීමට ගත් තීරණයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට ප‍්‍රකාශයට පත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව නොකැදවා පවතින තත්ත්වයෙන්ම පාර්ලිමේන්තුව තිබිය යුතු බවට පෙත්සම්කරු පවසා තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත‍්‍රය ක‍්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත්දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.

එම අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 7 දා තෙක් බලපැවැත්වෙනු ඇත.

Read more

Local News