රාජ්‍ය නිලධාරින්ගෙන් ඉටුවිය යුතු වගකීමක් ගැන ජනපති කියයි

Share

වත්මන් දේශපාලන නොසන්සුන්තාවය හේතුවෙන් රටේ ජනතාවගේ ජන ජීවිතයට කිසිදු බලපෑමක් එල්ල නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

මහජන සේවාවන් අඩාලවීමට ඉඩ නොතැබීමේ වගකීම් නිසි ලෙස ඉටුකරන්නැයි ද ජනාධිපතිතුමා සියලු රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම ඉල්ලීම සිදු කළේ අද(30) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ස්ථීර පත්වීම් ලිපි ප‍්‍රදානෝත්සවය අමතමිනි.

විසි හත්දහසකට ආසන්න සමෘද්ධි නිලධාරින්ගේ ජීවන අභිප‍්‍රාය වූ පූර්ණ විශ‍්‍රාම වැටුප් සහිත පත්වීම් සිහිනය යථාර්ථයක් බවට පත් කරමින් හත්දහසකට ආසන්න පිරිසකට ස්ථීර පත්වීම් ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තමන් සියලු අමාත්‍යාංශ ලේකම්වරු පත් කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බවයි. එබැවින් එම සියලු පත්වීම් නීත්‍යනුකූල වන අතර එහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා රට තුළ කුමන දේශපාලන නොසන්සුතාවයක් ඇති වුව ද සිය අමාත්‍යාංශවල කටයුතු නිසි ලෙස ඉටුකරමින් රටේ සියලු ක්ෂේත‍්‍ර යථා පරිදි පවත්වාගෙන යාම අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බව ද පැවැසීය.

අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික සංවර්ධනය ඇති කරමින් රටට ආර්ථික සමෘද්ධිය උදා කිරීමට සමෘද්ධි ව්‍යාපාරය ඉටුකරන මෙහෙවර අගය කළ ජනාධිපතිතුමා සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ කාර්යභාරය ද ඇගැයීමට ලක් කළේය.

Read more

Local News