සාමාන්‍ය පෙළ විභාගය අදින් අැරඹෙයි

Share

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(03) ආරම්භ වන අතර විභාගය එළඹෙන 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර විභාගය මධ්‍යස්ථාන 4661 කදී පැවැත්වෙන අතර අපේක්ෂකයන් හයලක්ෂ 56,641 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 541ක් පිහිටුවා ඇති අතර රත්මලාන, තංගල්ල, මාතර , හලාවත සහ කොළඹ මැගසින් බන්ධනාගාරයේ විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගියදා උපදෙස් මාලාවක් ද නිකුත් කරනු ලැබුවේය.

ඒ අනුව විභාගය පෙරවරු 8.30ට ආරම්භ වන අතර පෙරවරු 8.00ට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අයදුම්කරුවන් ස්මාර්ට් අත්ඔරලෝසු, ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ මඟින් විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසට විභාග දෙපාර්තමේන්තුව විසින් ශාලාධිපතිවරුන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවද සඳහන්ය.

විභාග වංචා සිදුකරන අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව මඟින් පවත්වනු ලබන සියලු විභාග සඳහා පෙනී සිටීම වසර 05 කට තහනම් වන බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

විභාගය පවත්වන අවස්ථාවේදී බාහිර පාර්ශවයන්ගෙන් අයදුම්කරුවන්ට කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහාම විභාග දෙපාර්තමේන්තුවට සහ පොලිස් මූලස්ථානයට දැනුම් දීමට කටයුතු කරන ලෙස සියළු ශාලාධිපතිවරුන් වෙත දැනුම්දී ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර අද දිනයේ ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග කටයුතු සඳහා විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සෑම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක්ම සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක්ම වෙත පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Read more

Local News