දේශපාලන ඉලක්ක මත දරුවන්ගේ අනාගත තීරණ ගන්නේ නෑ

Share

දේශපාලන ඉලක්ක මත පදනම් වෙමින් දරුවන්ගේ අනාගතය පිළිබඳ තීන්දු තීරණ ගැනීමට තමා කිසිසේත් කටයුතු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (03) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් සහ අධ්‍යාපන ලේකම් ප්‍රමුඛ අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය හා මතුව ඇති ගැටළු සම්බන්ධව සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ පැවති විශේෂ හමුවකට එක්වෙමින්ය.

අමාත්‍යවරයා පැවසුවේ දරුවන් ඇතුළත් කළ යුතු හොඳම පාසල් ජාතික පාසල් පමණක් යැයි සිතන දෙමව්පියන්ගේ ආකල්පමය ගැටළුව හේතුවෙන් පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳ ගැටළුව උග්‍ර වී ඇති බවත්,  පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ මැදිහත්වීම හා සහයෝගය ද ඇතිව ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු පාසල්වල ඇතිකිරීමට පියවර ගතයුතු බවයි.

එමෙන්ම තරගකාරී අධ්‍යාපන රටාවකට හුරුව සිටින වර්තමාන සමාජය තුළ බහුල ව සිටින්නේ මානසික ආතතිය රෝගයක් තෙක් වර්ධනය වූ දරුවන් බවත්, මේ තත්ත්වයට මව්පියන් මෙන් ම ගුරුවරුන් ද වගකිව යුතු බවත් අමාත්‍යවරයා පැවසීය.

නිදහස් අධ්‍යාපනය රජයෙන් ලබාදෙමින් සිටියදීත්, ඉගැන්වීමට දරුවන් ටියුෂන් පන්තිවලට යවන, විශ්වවිද්‍යාලවලට ඇතුළත්වන නවක දරුවන් සාදරයෙන් පිළිගන්නවා වෙනුවට නවකවදය ලබාදෙන පසුබිමක් තුළ අප රටක් වශයෙන් යහපත් නොවන තත්ත්වයක පසුවන බව ද, මේ තත්ත්වය වෙනස්කිරීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරයා වැඩ්දුරටත් සදහන් කළේය.

තවද එක් එක් පළාත්වලට අදාළ ව අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පැනනැගී ඇති ගැටළු රැසක් මෙහි දී පළාත් අධ්‍යාපන බලධාරීන් විසින් අමාත්‍යවරයා හමුවේ ඉදිරිපත් කරනු ලැබීය.

Read more

Local News