ගෝඨාගේ නඩුව එක දිගට අහන්න සුදානම්

29

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ජනවාරි මස 22දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(04) නියම කළේය.

මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නඩුවට අදාළ ලේඛන නිසි පරිදි ලැබී තිබෙන බව පැමිණිලි පාර්ශවය මෙන්ම විත්ති පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව විත්තියට ලැබිය යුතු ලේඛන නිසියාකාරව ලැබී තිබේ ද යන්න තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත ජනවාරි මස 03 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල නඩු විභාගය ජනවාරි මස 22 වනදා සිට දිනපතා සිදුකරන බවද නියෝග කළේය.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති, ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.