ජනපති නියෝගයට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන් වෙයි

Share

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(04) ආරම්භ විය.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවයි.

පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය ඉන් එක් අවස්ථාවක් බව එම ද නීතිවෙදීන් පෙන්වා දුන්නේය.

ඊට අමතරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නිතිඥවරු පෙන්වා දුන්නේය.

එහෙත් මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන එම නීතිඥවරුන් එම විසුරුවාහැරිම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේ. සී. වැලිඅමුණ මහතා කරුණු දක්වමින් ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව පෙන්වා දුන්නේය.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුනද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ජනාධිපති නීතිඥ වැලිඅමුණ මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, නීතිඥ ලාල් විජේනායක ඇතුළු පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් ක්‍රියාමාර්ගය ආණ්ඩුකම ව්‍යවස්ථාව 19 වන සංශෝධනයට මුළුමනින්ම පටහැනි බවයි.

මේ අතර මෙම පෙත්සම් විභාගයට මැදිහත් වීමට අවසර දෙන මෙන් ඉල්ලා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අනුර ප්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි ලක්ෂ්මන් වසන්ත පෙරේරා, පවිත්‍රා වන්නිආරච්චි, සිසිර ජයකොඩි, චන්ද්‍රසිරි ගජධීර, ජෝන් සෙනවිරත්න ඇතුළු නීතිඥ ධුර දරන පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු දසදෙනෙකු විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ,ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ,ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

Read more

Local News