ජනපතිගෙන් අලුත් ආණ්ඩුවක් – එස්.බී.

Share

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව හා අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට පැනවූ අතුරු තහනම ස්ථිර බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුනහොත් අලුත් ආණ්ඩුවක් පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) කොළඹ පැවති මාධ්‍ය හමුවකදිය.

මන්ත්‍රීවරු 122 ක් එකතු වෙලා මේ රජය නීති විරෝධි යැයි පවසමින් ඔවුන්ගේ එකම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා යැයි පැවසු මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා දෙපැත්තට තබා හරි ආකාරයෙන් මන්ත්‍රීවරු බෙදා බැලුවොත් අදටත් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා බහුතරයක් මහින්ද රාජපක්ෂ මහතාට හිමි බව ද එස්.බී.දිසානායක මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ පිළිබඳ සලකා බලා ස්වාභාවික නීතියේ නාමයෙන් මේ රටේ පාර්ලිමේන්තුවෙන් විසඳා ගැනීමට නොහැකි වු අර්බුදය සංසිඳවන්න මැදිහත් වේ යැයි දැඩි විශ්වාසයක් පවතින බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

අවසානයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණය පිළිබඳ තීන්දුවට එරෙහි තීන්දුවක් ලබා දුන්නහොත් හෝ මෙම අතුරු තහනම ස්ථීර යැයි ප්‍රකාශ කළ ද ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටු වීමේ හැකියාව ඇති බව ද මන්ත්‍රීවරයා පැවසීය.

Read more

Local News