ජනපති එජාපය දිය කළ බව අකිල කියයි

Share

ජනපතිවරයා පසුගිය කාළය මුළුල්ලේම එක්සත් ජාතික පක්ෂය දිය කිරීමෙහි වැඩසටහනක නියැලුණා මිස තමන්ට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා අමතක කළ බව  එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ මූලස්ථානයේ දී පැවැති එක්සත් ජාතික පක්ෂය අනුබද්ධ ආයතන සංවිධානය කොට නැවත ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කර ලද විශේෂ රැස්වීමක  දී ඒ මහතා සඳහන් කළේය.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය තුළ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී  පක්ෂයත්, ප්‍රජාතන්ත්‍රවාදයත්, රටක් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ කැප කිරීම් තමා එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙස  කෘතවේදීව සිහිපත් කරන බවයි.

ඇතැම් අවස්ථාවල දී තමා වෙනුවෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොවන පුද්ගලයින් පවා මේ මොහොතේ පක්ෂය වටා එක් වෙමින් විශාල කැප කිරීමක් සිදු කරන බව ද මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය කාලය මුළුල්ලේ ම එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් බොහෝමයකට ජනාධිපතිවරයා විසින් අකුල් හෙලමින් කටයුතු කිරීම කණගාටුදායක තත්ත්වයක් වූ බවත්,බොහෝ අවස්ථා වලදී ජනතා ප්‍රසාදය එක්සත් ජාතික පක්ෂයට ලැබේය යන බිය හේතුවෙන් මෙ⁣ම බාධා කිරීම සිදුකළ බව පැහැදිලි වන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.

නිදසුනක් ලෙස තමා නායකත්වය ලබා දෙමින් ක්‍රියාත්මක කළ වෙහෙර විහාරස්ථාන දොළොස් දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “සසුනෝදය වැඩසටහන” නතර කර දැමීම පෙන්වා දුන්⁣නේය.

විවිධ කණ්ඩායම් විසින් එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ගෙන යන දුර්මත පරාජයට පත් කරමින් යථාර්ථය සමාජගත කිරීමත්, නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය සමාජය තුළ ස්ථාපිත කිරීමත් අරමුණු කර ගනිමින් මෙම අනුබද්ධ සංවිධාන සියල්ල තවදුරටත් පුළුල් කරමින් ප්‍රතිසංවිධානය කිරීමට නියමිතයි.

Read more

Local News