රනිල්ගේ මන්ත්‍රිකමට එරෙහි පෙත්සම අභියාචනාධිකරණයට

Share

අද (11) දින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල විසින් ගොණු කරනු ලැබීය.

එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු 4 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ ආයතන සමඟ කොන්ත්‍රාත් වලට එළඹ ව්‍යාපාරික කටයුතු සිදු කිරීම මන්ත්‍රී ධුර දැරීමට නුසුදුසු කමක් සේ අර්ථකථනය කර ඇති බවයි.

වගඋත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා ලේක්හවුස් සමුහ ව්‍යාපාරය කොටස්කරුවකු බවට තමන්ට තොරතුරු දැනගැනීමට ලැබී ඇතැයි සඳහන් කරන පෙත්සම්කාරිය එම සමූහ ව්‍යාපාරය යටතේ පවතින lake house printers and publishers පුද්ගලික සමාගම මගින් ලංකා බැංකුව සහ මහජන බැංකුවේ චෙක්පත් මුද්‍රණය කිරීමත් සිදු කරන බවද සඳහන් කර ඇත.

එබැවින් ලේක්හවුස් සමූහ ව්‍යාපාරය කොටස් කරුවකු වශයෙන් කටයුතු කරමින් ලංකා බැංකුව සහ මහජන බැංකුව සමඟ කොන්ත්‍රාත් වලට එළඹ ව්‍යාපාරික ගනුදෙනු සිදුකිරීම තුළින් වික්‍රමසිංහ මහතාට එම මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු කමක් උද්ගතව ඇතැයි පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට නුසුදුසු කමක් යැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය මෙයාකාරයෙන් ව්‍යාපාරික කටයුතු වල නිරත වීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාගේ මන්ත්‍රී ධුරය ද පසුගිය කාලයේ අහෝසි කළ බව පෙන්වා දෙයි.

මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරන අතර වාරයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වීම තුලින් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බවට ප්‍රකාශයක් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරිය ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම සහ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කිරීමේ අතුරු ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාරිය වැඩිදුරටත් සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Read more

Local News