එජාප සංවිධායක නිසා අත්තනගල්ල උණුසුම් වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයකුගේ තර්ජනාත්මක හැසිරීමට එරෙහිව අද(11) පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශිය සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති වී තිබේ.

අත්තනගල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක චන්ද්‍රසෝම සරණලාල් මහතා ඊයේ (10) පස්වරුවේ ප්‍රාදේශීය සභාව වෙත පැමිණ කම්කරුවන්ට සහ නිලධාරීන්ට තර්ජනය කිරිම මෙම නොසන්සුන්තාවට හේතු වී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්විම් අත්අනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීම නිසා උරණ වූ ආසන සංවිධායක වරයා ප්‍රදේශීය සභාව තුළදී කම්කරුවන්ට හා නිලධාරීන්ට බැන වදින අයුරු සී සී ටීවී කැමරාවක සටහන්ව ඇත.

මේ හේතුවෙන් අද පෙරවරුවේ අත්තනගල්ල ප්‍රාදේශිය සභාව ඉදිරිපිට කම්කරුවන් සහ නිලධාරීන් උද්ඝෝෂණයක නිරතවිය.

පසුව ඔවුන් සියලු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශිය සභා රැස්වීම පැවැත්වෙන සභාව තුළටද ඇතුලු වී සිය විරෝධය පළ කළේය.

පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ද විරෝධතාකරුවන් සමඟ එජාප සංවිධායකවරයාගේ නිවස ආසන්නයට පාගමින් පැමිණ නිට්ටඹුව නගරය මධ්‍යයේ විරෝධතාවයේ නියැලුණි.

Read more

Local News