සෝම හිමි ගුණ සමරුව අද

Share

මෙරට නූතන බෞද්ධ පුනර්ජීවනයේ පෙර ගමන් කරුවකු වූ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 15 වැනි ගුණසමරුව අදට(12) යෙදී ඇත.

වර්ෂ 2003 දෙසැම්බර් 12 වැනි දින රුසියාවේදී උන්වහන්සේ අපවත් වූ අතර එම මරණය පිළිබඳ නොයෙකුත් ආන්දෝලනාත්මක පුවත් එකල සමාජය පුරා පැතිර ගියේය.

රුසියාවේ දී හදිසියේ ඇතිවූ හෘධයාබාදයක් හේතුවෙන් උන් වහන්සේ අපවත් වන විට එරට ආයතනයක් මගින් උන්වහන්සේට පිරි නැමීමට සූදානම් කර තිබුණු උපාධියක් ලබා ගැනීමට උන් වහන්සේ රුසියාවට වැඩම කර තිබුණි.

දේවවාදය හා මූලධර්මවාදය විවේචනය කරමින් සමාජය තුළ නව කතිකාවක් නිර්මාණය කළ සෝම හිමියන් පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේගෙන් පසුව වඩාත්ම ජනප්‍රසාදයක් දිනාගත් ධර්ම දේශකයානෝ බවට පත්ව සිටියේය.

මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ තරුණ සීල සමාදානය පාදක කරමින් ඇරඹි ධර්ම දූත සේවය මෙරට පමණක් නොව විදේශයන්හි පවා පතුරුවා හැරීමට උන්වහන්සේ කටයුතු කළහ.

1986 වසරේ දී ඕස්ට්‍රේලියාවට වැඩම කළ සෝම හිමියන් එරට වික්ටෝරියා ප්‍රාන්තයේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඇරඹූ අතර අපවත් වන තුරුම එහි විහාරාධිපති ධුරය දරන ලදී.

වර්ෂ 1948 බක් මස 24 දින ගංගොඩවිලදී ධර්මදාස පියානන්ට හා චාලට් වීරතුංග මෑනියන්ට දාව සෝමරත්න නමින් උපත ලද සෝම හිමි කුඩා කල සිටම දහමට තිබුණු නැඹුරුවත් සමග වයස අවුරුදු 26 දී අම්පිටියේ රාහුල සහ අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමිවරුන් යටතේ ගංගොඩවිල සෝම නමින් සසුන් ගත විය.

අපවත්වන විට 55 හැවිරිදි වියේ පසු වූ උන්වහන්සේ මීට අවුරුදු 15කට පෙර දෙස් විදෙස් සුවහසක් බෞද්ධයන්ගේ සෝ සුසුම් මැද සසුනඹරෙන් බැස ගිය සේක.

Read more

Local News