මහින්දගේ අභියාචනය සිකුරාදා සලකා බලයි

Share

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ඉවත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන සිකුරාදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අද (12) දින පෙත්සම් ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා අධිකරණයට දන්වා සිටියේ වගඋත්තරකරුවන්ට මේ දක්වා පෙත්සම්කාර පාර්ශවයෙන් නොතිසි ලබා දී නොමැති බවයි.

මේ හේතුවෙන් අද දින මෙම පෙත්සම සලකා බැලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව ද වගඋත්තරකාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන සහ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා යන මහත්වරු අධිකරණයට දන්වා සිටියේ අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගය හේතුවෙන් අමාත්‍ය මණ්ඩලයට තම රාජකාරි කටයුතු ඉටු කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව සඳහන් කළේය.

මෙම නඩුව ජාතික වැදගත්කමක් සහිත නඩුවක් බැවින් කඩිනමින් සලකා බැලීම අවශ්‍ය බව ජනාධිපති නීතිඥවරුන් අධිකරණය අවධාරණය කර සිටියේය.

තවද පෙත්සම ලබන සිකුරාදා සලකා බලන බව නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමට අදාළ නොතීසි සහ ලේඛන වගඋත්තරකාර පාර්ශ්ව වෙත ලබා දෙන මෙන්ද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් දන්වා සිටියේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අභියාචනාධිකරණය වෙත අදාළ පෙත්සම ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122 තිදෙනා නම් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටින්නේ තම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇති තහනම් නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

මෙවැනි තරම් නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ හේතුවෙන් තම අභියාචනය පිළිබඳ විභාගයක් පවත්වා අභියාචනාධිකරණය විසින් ඊයේ දින නිකුත් කළ තහනම් නියෝගය නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්  තමා අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News