රනිල් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

Share

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති විශේෂ අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග ගන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති පෙත්සමෙ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනා අතුරින් පළවන පෙත්සම්කරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මෝසම ගොනු කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචනයක් හෙට විභාගයට ගැනීමට නියමිතව තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ඉදිරිපත් කරන මෝසම මගින් දන්වා තිබෙන්නේ එම නඩු කටයුත්ත ව්‍යවස්ථාමය වශයෙන් ඉතා වැදගත් කටයුත්තක් බැවින් එය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම සුදුසු බවයි.

මේ හේතුවෙන් අදාළ අභියාචනය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති එම මෝසමෙන් ඉල්ලා තිබේ.

මේ අතර අදාළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකසිය විසි දෙදෙනා වෙනුවෙන් තවත් මෝසමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයටෙ නොගන්නා ලෙසයි.

එම පෙත්සම ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට ගතහොත් යුක්තිසහගත නඩුවිභාගයක් අපේක්ෂා කළ නොහැකි බැවින් එය එම විනිසුරු මණ්ඩලයෙන් ඉවත් කොට වෙනත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙසයි අදාළ මෝසමෙන් ඉල්ලා ඇත.

Read more

Local News