අද මහින්දට තීරණාත්මකයි

Share

මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද(14) සලකා බැලීමට නියමිතව තිබේ.

පසුගිය 03 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වලක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබීය.

එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පසුගිය 12 වැනිදා එය කැඳවා තිබුණි.

මේ අතර මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඉදිරිපත් කර ඇති අදාල අභියාචනා පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනා අතුරින් පළවෙනි වගඋත්තරකරු ලෙස නම් කර සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරයා විසින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර ඇත.

මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය තනතුරු දැරීම වළක්වාලමින් නිකුත් කර ඇති තහනම් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලා ඉදිරිපත් කර ඇති විශේෂ අභියාචනා පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඉල්ලමින් මෙම මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මේ අතර අදාළ අභියාචනා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනා වෙනුවෙන් තවත් මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ විභාගයට නොගන්නා ලෙස ඉල්ලා එම මෝසම ඉදිරිපත්ව ඇත.

ඊවා වනසුන්දර මහත්මිය ඉදිරියේ අදාල පෙත්සම විභාගයට ගතහොත් යුක්ති සහගත නඩුවිභාගයක් අපේක්ෂා කළ නොහැකි බැවින් ඇය විනිසුරු මණ්ඩලයෙන් ඉවත් කරන ලෙස මෙමමෝසමෙන් ඉල්ලා ඇත.

Read more

Local News