අධ්‍යාපන අමාත්‍යාංශය සහ එ.ජා. සංවිධානය අතර තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ වැඩසටහනක්

Share

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සංවත්සරය ද සමරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය, අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රියාකාරී වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ද පසුගියදා පැවැත්විණි.

දරිද්‍රතාවය අවසන් කිරීම, පාරිසරික ආරක්ෂාව, සියල්ලන් වෙනුවෙන් සමෘධිමත්භාවය සහතික කිරීම ඇතුලු තිරසර සංවර්ධන ඉලක්ක 17 ක් 2030 වනවිට සපුරා ගැනීම වෙනුවෙන් රට පුරා සිසුන් පුහුණු කිරීම සහ දිරිගැන්වීම මෙම වැඩසටහනේ අරමුණයි.

සංවර්ධන අරමුණු වලින් බොහොමයක් ඉටුකර ගන්නා මාර්ගය අධ්‍යාපනය බවත්, රටේ ඉදිරි ගමන සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට මෙම වැඩසටහන් ඵලදායී වනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

ඒ වෙනුවෙන් ඔවුන් බල ගැන්වීම සඳහාත් තිරසාර සංවර්ධන ඉලක්ක 2030 දී සාක්ෂාත් කර ගැනිම සඳහාත් අධ්‍යාපන අමාත්‍යාංශය පූර්ණ සහයෝගය ලබා දෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

2030 සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීමේ දී තරුණ පරපුරේ වැදගත් බව එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික නියෝජිත ඌනා මැකෝලි මහත්මිය අවධාරණය කළ අතර ශ්‍රී ලංකාවේ තරුණ පරපුර තිරසර සංවර්ධන නායකයන් ලෙස මේ සඳහා ක්‍රියාකාරිව සම්බන්ධ කරගැනීමේ වැදගත්කමද සිහිපත් කළාය.

Read more

Local News