ඩෙංගු මර්දන වැඩසටහනක්

Share

පාසල් දරුවන් ඩෙංගු උවඳුරින් වළක්වා ගැනීම අරමුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව, දිවයිනේ සියලු පාසල්, පිරිවෙන්, විද්‍යාපීඨ, ගුරුවිද්‍යාල, කලාප හා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතනවල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන ලෙස පළාත් අධ්‍යාපන නිලධාරීන් දැනුවත් කිරීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වීමට පෙර මේ වසරේ දෙසැම්බර් 30, 31 යන දිනයන්හි දී දිවයිනේ සියලු පාසල් සහ අධ්‍යාපන ආයතන තුළ අදාළ පිරිසිදු කිරීම් සිදුකර සුරක්ෂිත පාසල් පරිසරයක් පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස මේ වනවිටත් සියලු විදුහල්පතිවරුන් වෙත උපදෙස් ලබා දී අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථකව ක්‍රියාවට නැංවීම සඳහා පාසල් සිසුන් හා දෙමව්පියන් මෙන් ම විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය සහ අනෙකුත් සියලු පාර්ශවකරුවන් ද අධ්‍යාපන ආයතනවල නිලධාරීන් ද සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව ද වැඩිදුරටත් එම නිවේදනයේ දැක්වෙයි.

Read more

Local News