අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයාට වැඩ වරදී

Share

අල්ලස් සිද්ධියක් මත අත්අඩංගුවට ගන්නා ලද පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අද(20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියට පමුණුවනු ලැබීය.

අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයෙකුට නැවත සේවයේ පිහිටුවීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම සඳහා සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලා එය රුපියල් ලක්ෂය දක්වා අඩුකොට ඉන් රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් අවස්ථාවේදී අත් අඩංගුවට ගත් බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බැවින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස අල්ලස් කොමිසම අධිකරණය ඉල්ලීම් කළේය.

එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර මේ නඩුවේ පැමිණිලිකාර පොලිස් පරීක්ෂකවරයා විසින් සැකකරුගෙන් ලබාගත් ණය මුදලින් කොටසක් වන රුපියල් පනස් දහසක මුදලක් ආපසු ලබා දීමේදී එය අල්ලස් වශයෙන් හඳුන්වා ඔහු අත් අඩංගුවට ගැනීමට පැමිණිලිකරු ක්‍රියා කර ඇති බවයි.

මෙම නඩුවේ පැමිණිලිකාර පොලිස් පරීක්ෂකවරයාට ලක්ෂ 25ක මැණික් ගල් වංචා කිරීම සහ පුද්ගලයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වී සිටින පුද්ගලයකු යැයි ද විත්තියේ නීතිඥවරයා විසින් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කළේය.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන 02 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසමට නියම කළේය.

Read more

Local News