2019 වර්ෂයේ පළමු මාස හතරක වියදම වජිර කියයි

Share

2019 වර්ෂයේ පළමු මාස හතර සඳහා වියදම ලෙස රුපියල් බිලියන 1765ක මුදලක් වෙන් කිරීමට ඉදිරිපත් වූ අතුරු සම්මත ගිණුම සඳහා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (20) දින එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලය රැස් වූ අතර, එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

2019 ජනවාරි 01 වැනිදා සිට මාස හතරක් සඳහා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම ඇතුළු රජයේ වියදම් සහ  ණය ගෙවීම වෙනුවෙන් අවශ්‍ය වන මුදල ලෙස රුපියල් බිලියන 1765ක අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිව තිබේ.

මේ අතරින් රුපියල් බිලියන 990ක මුදල්  ජනවාරි 15 වැනිදා වනවිට ශ්‍රී ලංකාව ගෙවීමට ඇති  ණය සඳහා වෙන් කිරීමට සිදුවන බවද අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

කැබිනට් මණ්ඩලයේ සම්මත වූ මෙම අතුරු සම්මත ගිණුම අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරනු ලැබිය.

උත්සව සමයට පෙර මුදල් වෙන් කිරීමේ අවශ්‍යතාව මත මෙම අතුරු සම්මත ගිණුම අද දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඉදිරිපත් කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පැවැත්වුණු අතර, එය විනාඩි 20කට පමණ සීමා වී තිබිණ.

වජිර අබේවර්ධන මහතා අදහස් දක්වමින් “පහුගිය දින 50 තුළ රටේ ආර්ථික, සමාජීය සියලු අංශවලින් කඩාවැටුණා. නව ආණ්ඩුවේ පළමු කාර්යය වී තිබෙන්නේ  කඩාවැටුණු රට යථා තත්ත්වයට පත් කිරීමයි. ඒ අනුව දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය තහවුරු කරගැනීමට අවශ්‍ය කටයුතු අපි කඩිනමින් සිදු කරනවා.

මේ වනවිට ආණ්ඩුව තනි ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යනවාද, නැතිනම් ජාතික ආණ්ඩුවක් ලෙස පවත්වාගෙන යනවාද කියා සාකච්ඡාවක් තිබෙනවා. අපි සමග පක්ෂ කිහිපයක එකතුවක් තිබෙන නිසා ජාතික ආණ්ඩුවට යනවාද, නැද්ද කියලා ඔවුන් සියල්ලම ඒකමතිකව තීරණය කළ යුතුව තිබෙනවා.

ඒ වගේම ඇමති මණ්ඩලයේ 28ක් දිවුරුම් දුන්නා. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වෙන්කර තිබෙන අමාත්‍යාංශ, කැබිනට් 30ට අඩංගුද නැද්ද කියලා තර්කයක් තිබෙනවා. එය ගැන නීතිමය තර්කයක් තිබෙනවා. එය නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනගත යුතුව තිබෙනවා.

ජනාධිපතිවරයා ලංකාවට පැමිණි පසු දිවුරුම් දිය යුතු අනිකුත් අමාත්‍යවරුන් දිවුරුම් දේවි. දින පනස් ගණනක් වැටී තිබෙන රට යථා තත්ත්වයට පත් කිරීම රජයේ වගකීම” යැයි අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News