රාජ්‍ය පාලනය පිරිසිදු බවට ජනතා සහතිකයක් නෑ – ජනපති

Share

නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසීය.

ජනපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි.

රට සහ ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකව ද තමා සෑමවිටම පෙනී සිටින බව ජනපතිවරයා සඳහන් කළේය.

යහපාලනය යන වචනය අප කොතෙක් භාවිතා කළ ද මෙරට රාජ්‍ය පාලනය පිරිසිදු පාලනයක් බවට වූ සහතිකය තවමත් අපට ජනතාවගෙන් ලැබී නොමැති බවත්, රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනය වෙනුවෙන් නිසි ලෙස තම වගකීම් ඉටුකරන්නැයි ද ජනාධිපති සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහි සටන සමග නිරන්තරයෙන් රටේ ජනතාව අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය සම්පත් විනාශ කරමින් සහ ජනතා මුදල් සොරකම් කරමින් සිදුකරන වංචා දූෂණ සැමදා රහසක්ව නොපවතින අතර එය කෙදිනක හෝ මහජනතාව හමුවේ අනාවරණය වන බවත් නියත වශයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් විදීමට සිදුවන බවත් කියා සිටියේය.

දුගී බවින් තොර රටක් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම අද අප හමුවේ ඇති ප‍්‍රධාන අභියෝග බවට පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපති එම අභියෝග ජය ගැනීමේ දී මෙරට රාජ්‍ය නිලධාරින් කෙරෙහි තමා පූර්ණ විශ්වාසයක් තබා ඇතැයි ද සඳහන් කළේය.

Read more

Local News