විශාල ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපොළට

Share

ලොව විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ.- 380 එයා බස් වර්ගයේ ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීය.

ගුවන් යානයේ ගමන්ගත් මගියෙකු අසනීප වීම නිසා ඊයේ දින අලුයම මෙම ගුවන් යානය ගොඩබැස්සවීමට කටයුතු කර තිබේ.

මෙය අබුඩාබි රාජ්‍යයට අයත් ඉටිහැඩ් ගුවන් සේවයේ ඊ.ටී.ඩී.- 454 දරණ ගුවන් යානයයි. එහි මගීන් 490 ක් සහ කාර්ය  මණ්ඩලය 22 ක් ද සිටිය බව ගුවන් ගමන් පාළකවරුන්ගේ ප්‍රකාශකවරයෙකු පැවසී.

මෙවැනි වර්ගයේ ගුවන් යානයට ඉන්ධන ලීටර් 1,62,000 ක් පමණ ලබා ගැනීමේ ධාරිතාවක් පවතින අතර , මෙම යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව රුපියල් 80 ලක්ෂයක් පමණ වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් 70,000 ක් ද ලබා ගත් බව ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

අසනීප වූ ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත භාර දීමෙන් අනතුරුව , වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා ගිලන් රථයක් මගින් මීගමුව දිස්ත්‍රික් මහා රෝහල වෙත යොමු කළ බව ගුවන් තොටුපළ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය.

ගුවන් යානය යළිත් 12/22 දින උදෑසන 7.40 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් ගියේය.

Read more

Local News