හිරගෙදරට අරක්කු සැපයු දාෙස්තර දැලේ

Share

වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්තව රාජකාරී කටයුතු සිදු කරනු ලබන වෛද්‍යවරයෙකු මත්පැන් කාලේ බෝතල් දෙකක් සිරකරුවෙකුට ලබාදීමට කටයුතු කරමින් සිටියදී අල්ලා ගැනීමට අද(24) බන්ධනාගාර නිලධාරීන්ට හැකිවූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වෛද්‍යවරයා වැලිකඩ බන්ධනාගාර වෛද්‍ය මධ්‍යස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන බවත් එහෙත් අද දිනයේ එම වෛද්‍යවරයාට රාජකාරී සඳහා වාර්තා කිරීමට නොතිබු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද සේවයට වාර්තා කිරීමට නොමැතිව තිබියදීත් පැමිණ ඇති අදාළ වෛද්‍යවරයා මෙම මත්පැන් කාලේ බෝතල් දෙක එම සිරකරුවාට ලබාදී ඇත්තේ වෙනත් සිරකරුවෙකුට ලබාදීම සඳහා බවට අනාවරණය වී තිබේ.

වැලිකඩ බන්ධනාගාර අධිකාරී සී .උඩුවර මහතා සඳහන් කළේ අදාළ වෛද්‍යවරයා මත්පැන් බෝතල් දෙකක් සිරකරුවෙකුට ලබා දෙන ආකාරය බන්ධනාගාර නිලධාරීයෙකු දැක ඇති බවයි.

ඒ අනුව මත්පැන් බෝතල් දෙක සොයා ගෙන ඇත්තේ එම සිරකරුවා ළග තිබියදීවන බැවින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයට කරුණු වාර්තා කරන බව වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මත්පැන් ලබා දෙන ආකාරය දැක එය පරීක්ෂාවට ලක් කළ බන්ධනාගාර නිලධාරීයාගෙන් ද කරුණු විමසා ඉදිරි කටයුතු සිදු කරනු ලබන බව අධිකාරීවරයා පවසයි.

මේ අතර වේදනා නාශක බෙහෙත් කරල් දහ නවයක ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනුයුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු බන්ධනාගාර නිලධාරීන් ඊයේ දහවල් සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාර අධිකාරී උඩුවර මහතා සඳහන් කළේ මෙම පුද්ගලයා බෙහෙත් ද්‍රව්‍ය තුළ සඟවා ගෙන මත් කුඩු වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යන බවට ලද තොරතුරකට අනුව ඇති වු සැකය මත සිදු කළ පරීක්ෂාවකදී එම මත්ද්‍රව්‍ය සොයා ගත් බවයි.

ඖෂධ සංයෝජකවරයා රාජකාරී සඳහා වාර්තා කර නැවතත් බන්ධනාගාර පරිශ්‍රයෙන් පිටතට ගොස් තිබේ. එසේ ගොස් ආපසු එන අවස්ථාවේදී ඇති වු සැකය මත ඖෂධ සංයෝජකවරයා පරීක්ෂාවට ලක් කිරීමේදී හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කරන ලද වේදනා නාශක බෙහෙත් පෙති සොයා ගෙන තිබේ.

මේ ආකාරයට මොහු දීර්ඝ කාලයට සිට ජාවාරමක් ලෙස වැලිකඩ බන්ධනාගාරය තුළට ඖෂධ තුළ සඟවා රැගෙනවිත් රැදවියන්ට මත්කුඩු බෙදාහරින්නට ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් බන්ධනාගාර අධිකාරීවරයා පවසයි.

වැඩිදුර විමර්ශන සඳහා සැකකරු බොරුල්ල පොලීසියට බාර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News