දෙමළ ජනතාව මහින්ද පිළිනොගත් බව සුමන්තිරන් කියයි

Share

2015 වර්ෂයේදී මහජන ඡන්දයෙන් පාලනයෙන් ඉවත් කළ මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම, දෙමළ ජනතාව කිසිවිටෙකත් අනුමත නොකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ 13 වන අණුස්මරණ වැඩසටහනකට එක්වෙමිනි.

ඝාතනයට ලක්වු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් මහතාගේ 13 වන අණුස්මරණ වැඩසටහනක් ඊයේ මඩකලපුව නගරයේ පැවත්විය.

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ ඉලංකයි තමිල් අරසු පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ සංවිධානය විසිනි.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා සහභාගී විය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සිදුවුණු දේශපාලන සිද්ධීන් නිසා ලංකාවේ ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනගෙන තියෙනවා. ඒකෙන් 19 වැනි සංශෝධනය ගැනත් දැනගත්තා.

අපි කොළඹදී පාරේ යනකොට සමහර මිනිස්සු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගැන කතා කරනවා. 2010 අප්‍රේල් මස පැවති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට තුනෙන් දෙකේ බහුතරය නොතිබුණත්, සමහර අයව මිලදි අරගෙන 18 වැනි සංශෝධනය සම්මත කරගත්තා.

මේ ළඟදි ජනාධිපතිවරයා සමග තිබුණු සාකච්ඡාවකදි එතුමා කිව්වා ‘මම කවදාවත් අමතක කරන්නේ නෑ දෙමළ ජනතාව. ඒ අය ඡන්දේ දුන්න නිසා තමයි මේ රටේ ජනාධිපතිවරයා වුණේ’ එතුමා එහෙම කියද්දී මම ජනාධිපතිවරයාට කිව්වා දෙමළ ජනතාව 2010 දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ඡන්දය දුන්නා.

2015 දී ඔබතුමාට ඡන්දය දුන්නා. දෙමළ ජනතාව ඔබතුමාට තිබුණු ආදරයකට හෝ සරත් ෆොන්සේකාට තිබුණු ආදරයකට නෙමෙයි ඡන්දෙ දුන්නේ.

මහින්ද රාජපක්ෂ මහතාට එලවන්න ඕනේ කියලා තමයි ඔබ දෙපලටම ඡන්දය ලබා දුන්නේ. නමුත් එදා සිට මේ දක්වා එළියට යවන්න ඕනේ කියලා හිතපු එක්කෙනාව නැවත අගමැති විදිහට පත් කරපු එක දෙමළ ජනතාව කිසිවිටෙකත් පිළිගන්නේ නෑ. “

Read more

Local News