අධිවේගී මාර්ගවල ආරක්ෂාවට STF යොදවයි

Share

මෙවර උත්සව සමයේ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය කිරීම වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්‍ෂ සමන් ඕපනායක මහතා පැවසීය.

‍එමෙන්ම අධිවේගී මාර්ගවල ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇතැයිද අධ්‍යක්‍ෂවරයා පැවසීය.

පසුගිය 20 වැනිදා සිට ඊයේ (25දා) දිනය දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවත්, පසුගිය 20 වැනිදා සිට සෑම දිනකම අධිවේගී මාර්ගවල වාහන ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් ධාවනය වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වැඩිම වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල ධාවනය වී ඇත්තේ පසුගිය 21 වැනිදාය. එදින වාහන එක්ලක්‍ෂ විසිදහසකට වැඩි සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනය වී තිබේ. එදින රුපියල් මිලියන 32ක ආදායමක් උපයා ඇතැයි අධ්‍යක්‍ෂවරයා පැවසීය.

සෙසු දිනවල රුපියල් මිලියන 28-30 අතර ආදායමක් උපයාගත් බවත්, පසුගිය නත්තල් නිවාඩු කාලසීමාවට සාපේක්‍ෂව මෙම ආදායම 08% වැඩිවීමක් බවත් ඔහු පවසා සිටියේය.

සාමාන්‍ය දිනකට සාපේක්‍ෂව පසුගිය දින කිහිපයේ අධිවේගී මාර්ගවල රථවාහන ධාවනය 35%කින් පමණ වැඩිවී ඇතැයි ඒ මහතා පැවසීය.

සාමාන්‍ය දිනවල අධිවේගී මාර්ගවල වාහන 75,000ක් පමණ ධාවනය වන බවත්, නත්තල් උත්සවය සහ නව අවුරුදු උදාවෙන් පසු යළි කොළඹට පැමිණෙන ජනතාවට අධිවේගී මාර්ගවල කිසිදු බාධාවකින් තොරව ගමන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News