අධ්‍යාපන පරිපාලන සේවයේ උසස්වීම් දෙයි

Share

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පසුගිය වකවානුව තුළ පැවති පුරප්පාඩු සැලකිල්ලට ගෙන 2017 වසරේ ජුලි සහ අගෝස්තු මාසවල පැවති සම්මුඛ පරීක්ෂණ ප්‍රතිඵල මත නිලධාරීන් 40 දෙනෙකුට අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තිය සඳහා උසස්වීම් ලබාදීම අද (27) දින සිදුවිය.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් 2013-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තිය සඳහා නිලධාරීන් 79ක් උසස් කිරීම අනුමත කරන ලද අතර එම පත්වීම් ලිපි පසුගිය නොවැම්බර් මස (2018-09-19) අදාළ නිලධාරීන් වෙත ප්‍රදානය කෙරුණි.

ඒ අනුව එහි ඊළග පියවර වශයෙන් 2013-06-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් 14ක්, 2014-01-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් 09ක් සහ 2014-06-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් 17ක් ඇතුළත් වන පරිදි නිලධාරීන් 40 දෙනෙකු සඳහා උසස්වීම් ලබාදීම අද සිදුකරනු ලැබීය.

ඒ අනුව, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ පුරප්පාඩු 119ක් මේ වනවිට සම්පූර්ණ කර අවසන් කර තිබේ.

එමෙන්ම පැරණි සේවා ව්‍යවස්ථාවට අනුව, තවත් පුරප්පාඩු 50ක් සම්පූර්ණ කිරීම සඳහා ඉදිරියේ දී සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ද නියමිතයි.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය ආරම්භ කිරීමෙන් පසු වැඩිම පත්වීම් ප්‍රමාණයක් එකවර ලබාදුන්නේ වත්මන් රජය යටතේ  බවත්, කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව සුදුස්සන්ට සුදුසු තැන ලබාදීමට සෑම අවස්ථාවකදීම කටයුතු කළ බවත් මෙහි දී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළේය.

Read more

Local News