පශු වෛද්‍යවරුන්ගෙන් අලි ඉල්ලීමක්

Share

ස්වභාවික ආහාර රටාවෙන් මිදී මෙලෙස ජනතාව විසින් ලබා දෙන ආහාර ගැනීම තුළින් අලින්ගේ ජීර්ණ පද්ධතියට හානි සිදුවන බැවින් අලි ඇතුන්ට කෘතීම ආහාර ලබා දීමෙන් වළකින ලෙස පශු වෛද්‍යවරුන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

නිරන්තරයෙන් වන අලීන් වනෝද්‍යාන හා කැළෑ ප්‍රදේශවල දක්නට ලැබුණත් ඇතැම් අලි කිසිවෙකු හෝ පැමිණෙන තෙක් මග බලා සිටින අයුරු දක්නට ලැබේ.

හබරණ – පොළොන්නරුව මාර්ගයේ ගමන් ගන්නා ඔනෑම අයෙකුට මෙය දැන් සුලභ දර්ශනයක් බවට පත් වී ඇත.

විනෝද චාරිකා හා වන්දනා ගමන්වල නිරත ජනතාව මෙලෙස මාර්ගය අසල සිටින වන අලින්ට විවිධ ආහාර ලබා දීමත් සමඟ එය මෙම සතුන්ගේ දෛනික ආහාර රටාව බවට පත්ව තිබේ.

මේ අයුරින් වන අලින්ට ආහාර ලබා දීම සිදුකරන්නේ වන සතුන්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැන්වීම් පුවරු පවා පළ කර ඇති පසුබිමකයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජනතාව සිය විනෝදය පිණිස වන අලින්ට ආහාර ලබාදුන්නද එය එම සතුන්ට බරපතල සෞඛ්‍ය තර්ජනයක් එල්ල කර ඇති බවයි.

ටොෆි,චොක්ලට් වැනි කෘතිම ආහාර අලින්ට ලබා දීම නිසා එමගින් ඔවුන්ගේ ජීර්ණ පද්ධතියට හානි සිදුවන බව පශු වෛද්‍යවරු සඳහන් කරයි.

Read more

Local News