ජනපති නියමයෙන් අාසිරි ගම නංවන්න ලක්ෂ 250ක්

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියමයෙන් අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානය සඳහා වෙන්කල රුපියල් ලක්ෂ 250 ක මුදලින් එහි සංවර්ධන කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ.

2025 වසර වනවිට දිළිදුකම පිටුදැකීම සඳහා ජනාධිපතිතුමා විසින් ආරම්භ කළ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයට සාමාජික ගම්මානයක් ලෙස ආසිරිගම ද සක්‍රීයව එක්ව සිටි.

ග්‍රාමශක්ති උතුරුමැද පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපතිතුමා පසුගිය 20 වනදා ආසිරිගම ග්‍රාමශක්ති ගම්මානයේ සංචාරයකට එක් විය.

එහිදී නව නිවාස, කෘෂිකර්මාන්තය සඳහා විධිමත් ජල සැපයුම් මෙන්ම පෙරපාසල් ගොඩනැගිලි සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා වෙත ගම්වාසීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය. ගම්වාසීන්ගේ ඉල්ලිම අනුව වහා එම සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 250 ක් ජනාධිපතිතුමා විසින් වෙන් කරන ලදී.

මේ අනුව එහි අබලන්ව තිබූ පෙර පාසල් දෙකක ගොඩනැගිලි අලුතින් ඉදි කිරීම සඳහා මුල් ගල් තැබීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් ඊයේ දින ආරම්භ කෙරිණි.

සතියක් ගත වෙන්නට මත්තෙන් තම ඉල්ලීම් ඉටුකර දීම පිළිබඳ ප්‍රදේශවාසිහු ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළ කරයි.

දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබේ.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට ස්වෝත්සාහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම විශේෂත්වයක් වන අතර, පෞද්ගලික අංශයේ ද දායකත්වයෙන් එය මේ වන විට ඉතා දිළිඳු ජනතාව ජීවත්වන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය හරහා මේ වන විට සක්‍රීයව වැඩ අරඹා ඇති ගම්මාන 1000 කි. ඉන් 700 ක් ප්‍රජාපාලිත ගම්මාන වන අතර, 300ක් නිෂ්පාදන හා සේවා අභිමුඛ ගම්මාන ලෙස ක්‍රියාත්මක වෙයි. 2020 වන විට මෙම ගම්මාන සංඛ්‍යාව 4000 ක් දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී තිබේ.

Read more

Local News