ජනතාවට සේවය කරන්න බැරි ඇමතිකම් රාධාක්‍රිෂ්ණන් එපා කියයි

Share

ජනතාවට සේවය කිරීමට අපොහොසත් වන අමාත්‍යාංශයක් වත්මන් රජය මඟින් තමන්ට ලබා දීමට සූදානම් වනවා නම් එම අමාත්‍යාංශය බාර නොගැනීමට තමන් තීරණය කර ඇති බව නුවරඑළිය දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අද (28) මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් පැවසීය.

“රටේ ඔක්තෝම්බර් (26) වන දා දේශපාලන අස්ථාවර තත්වයක් ඇතිවුණා. එම අවස්ථාවේ ප්‍රජාතනත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිමින් කඳුරට ජනතා පෙරමුණේ අපි එක්සත් ජාතික පක්ෂයට සම්පූර්ණ සහය ලබා දුන්නා.මේ වන විට රට දේශපාලන ස්ථාවරත්වයකට පැමිණ අලුත් ආණ්ඩුවක් පිහිටුවලා තිබෙනවා.

ආණ්ඩුවෙන් ප්‍රගතිශීලි සන්ධානයට කැබිනට් අමාත්‍ය තනතුරු දෙකක් දී තිබෙනවා. ඒ වගේම දේශපාලන අස්ථාවර වූ අවස්ථාවේ කඳුරට ජනතා පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී එතුමා අලුත් රජය පත්වුණායින් පසුව අපගේ පක්ෂයට කැබිනට් අමාත්‍ය තනතුරක් හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරක් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර් මහතාට ලබා දෙන බවට පොරොන්දු වුණා.

ඒ පොරොන්දුවෙන් පසුව දැන් නව කැබිනට්ටුව පත් කරද්දී එහි සංයුතිය 30 ක් බවට පත්ව තිබෙනවා. මේක අපි තේරුම් අරගෙන පිළිගන්නවා. අපි රජයට උදව්වක් වශයෙන් රජයෙන් ඉල්ලීමක් කළා කඳුරට ජනතා පෙරමුණ වෙනුවෙන් මම දිගටම කරගෙන ආපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යකමයි හින්දු සංස්කෘතික කැබිනට් නොවන ඇමතිකම මට ලබා දෙන ලෙසත්, අරවින්ද කුමාර් මහතාට නියෝජ්‍ය ඇමතිකමක් ලබා දෙන ලෙසත් ලිඛිතව අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කළා.

මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා කීවා මට කැබිනට් නොවන අමාත්‍ය තනතුරක් හා අරවින්ද කුමාර් මහතාට නියෝජ්‍ය ඇමතිකමකුයි ලබා දෙන බව. අපි එයට එකඟතාවය පළ කළා. හැබැයි දැන් අපට තොරතුරු දැනගන්නට ලැබී තිබෙනවා, මට අලුත් අමාත්‍යාංශයක් හදලා දීලා නියෝජ්‍ය අමාත්‍ය තනතුර සම්බන්ධව කිසිම පිළිතුරක් නැති බව. එසේ වුණොත් කඳුරට ජනතා පෙරමුණේ කිසිම අමාත්‍යාංශයක් භාර නොගැනීමට තීරණය කර තිබෙනවා. එසේ වුණා කියා අපි විපක්ෂයට යන්නෙත් නෑ දිගටම එක්සත් ජාතික පක්ෂයට සහාය ලබා දීමට තීරණය කර තිබෙනවා.

ඇමතිකමක් අරගෙන ඒකේ ප්‍රයෝජනය අරගෙන මම ඉන්න කැමති නෑ. ඇමති තනතුරෙන් ජනතාවට සේවයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. වැඩක් කිරීමට නොහැකි අමාත්‍යාංශයක් ලැබුණොත් භාර නොගැනීමට තිරණය කර තිබෙනවා.

නමුත් අග්‍රාමාත්‍යවරයා අපට දුන් පොරොන්දු ඉටු කරයි කියා සිතනවා. අපි ආණ්ඩුව අපහසුවට පත් නොවන අයුරින් තමා රාජ්‍ය නොවන හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ඉලලා සිටියේ. එයත් කරන්න බැරිනම් අපට තනතුරු අවශ්‍ය නෑ”

Read more

Local News