රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීමට විශේෂ ව්‍යාපෘතියක්  

Share

අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය අග‍්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා “SED Saloon” නමින් ක්‍රියාත්මක වේ. මෙම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය යනු 1980 දශකයේ අග‍්‍රාමාත්‍යතුමා යෞවන කටයුතු හා රැකීරක්‍ෂා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන අවධියේ ජාත්‍යයන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවීමේ අරමුණින් ආරම්භ කරන ලද අංශයකි.
මෙම වැඩසටහන සඳහා මේ වන විටත් දිස්ත‍්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි අයදුම්පත‍්‍ර 4328ක් පමණ ලැබී ඇත. රූපලාවන්‍ය ශිල්පීන්, ශිල්පිණියන් සඳහා ජාත්‍යයන්තරව පිළිගත් ජාතික පුහුණ සහතිකය (NVQ) ලබාගැනීම සඳහා යොමු කිරීම මගින් ඔවුන්ගේ වෘත්තිය සඳහා ජාත්‍යයන්තර පිළිගැනීමක් ලබා දීමට ද කටයුතු කරමින් ඇත.
රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීමත් කුසලතා පූර්ණ රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිණියන් වාර්ෂිකව ඇගයීමට ලක් කර සම්මානයට පාත‍්‍ර කිරීමත් මෙම “SED Saloon”ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට නියමිත අතර පළමු සම්මාන ලබාදීමේ වැඩසටහන ලබන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට ද නියමිතය. වර්තමානයේ තරුණ තරුණියන් අතර අතිශය ජනප‍්‍රිය ක්ෂේත‍්‍රයක් වන රූපලාවන්‍ය ක්ෂේත‍්‍රය තුළ ප‍්‍රමිතීන් ඇති කරවමින් ආකර්ෂණීය පෞරුෂයක් සහ සෞඛ්‍යමත් දිවියක් සදහා තරුණ තරුණියන් දිරිමත් කරවීමට මේ තුළින් බලාපොරොත්තු වේ.

Read more

Local News