අර්ජුනගෙන් නව ෆේස්බුක් පිටුවක්

Share

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට නව ෆේස්බුක් පිටුවක් ප්‍රවාහන සහ සිවිල්ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග ම‍හතා හඳුන්වා දෙයි.

මහජන හිතකාමී සහ කාර්යක්ෂම ප්‍ර‍වාහන සේවාවක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් එම ෆේස්බුක් පිටුව හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

”Arjuna Ranatunga – Inquiries Center” ලෙස නම් කර ඇති එම ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් අදහස්, යෝජනා මෙන්ම දූෂණ අක්‍ර‍මිකතා ගැන ඍජුවම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාව දැනුවත් කිරීමේ අවස්ථාව මහජනතාවට හිමි වේ.

එම තොරතුරු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(01) අනාවරණය කළේ නව වසර පිළිගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවැති උත්සවයට එක් වෙමිනි.

එහිදී අමාත්‍යාංශයේ නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් අමතමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ , කුමන හෝ ප්‍ර‍වාහන සේවාවක් ලබා දීමට වඩා වඩාත් ගුණාත්මක ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබා දීම අමාත්‍යාංශයේ නව වසරේ ඉලක්කය විය යුතු බවයි.

මගී ජනතාවට සේවා සපයන ප්‍ර‍වාහන ආයතන පෞද්ගලීකරණයෙන් වලකා අනාගත පරපුරට දායාද කිරීමට තමන් සමඟ එක්වන්නැයි ද අර්ජුන රණතුංග අමාත්‍යතුමා මෙහිදී සියලු නිලධාරීන්ගෙන් සහ සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු රණතුංග මහතා කියා සිටියේ,

“දිගින් දිගටම අලාභ ලැබුවොත් මේ ආයතන පෞද්ගලීකරණය කිරීම අපට වළක්වන්න බැහැ. ඒ නිසා මේ සියලු ආයතන මතු පරපුරට දායාද කිරීමට නම් ඒවා රැක ගැනීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු වෙනවා. එය කළ හැක්කේ මේ සියලුම නිලධාරීන් සහ සේවක මහත්ම මහත්මීන් රට ගැන, ආයතන ගැන, ආදරයෙන්, හැඟීමෙන් කටයුතු කළොත් පමණයි. මම හැම තිස්සේම සිටින්නේ සේවකයින් සමඟ. වෘත්තීය සමිති සමඟ. නමුත් ඔවුන් ආයතනට හානිකර දේවල් කරනවා නම් මම එතැනින් ඉවත් වනවා. රට වෙනුවෙන් හරි තීරණ ගන්න මම බය නැහැ.”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News