මුලතිව් සහ කිලිනොච්චි ගොවීන්ට වන්දි

Share

පසුගියදා මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලට බලපෑ ගං වතුර තත්ත්වය හේතුවෙන් ගොවි බිම් රැසක වගා හානි සිදුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.

එම තොරතුරු අනුව වගා හානි පිළිබඳව සොයා බැලීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පසුගිය සතියේ මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ගොවීන් සමඟ සාකච්ඡා කරනු ලැබීය.

කිලිනොච්චියේ මුරුසමුට්ටු ප්‍රදේශයේදී අමාත්‍යවරයා ගොවීන් හමු වී සාකච්ඡා කළ අතර එහි දී ගොවි ජනතාව පෙන්වා දෙන ලද්දේ ගොවිබිම් වගා හානි වීම පමණක් නොව තමන් සතුව පැවැති පශු සම්පත් එනම් ගවයින්, එළුවන් සහ කුකුළන් ද ගං වතුරට ගසාගෙන ගොස් ඇති බවයි.

එමෙන්ම ගංවතුරට යටව තිබූ කුඹුරුවල ගොයම් පැළ කුණු වී විනාශ වීම නිසා ද වගා බිම්වලට හානි වී ඇති බව ගොවීහු පැවසූහ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හානි වූ වගා බිම් සඳහා උපරිම වන්දි මුදලක් ලබා දීමටත්, පශු සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය සහයෝගය තම අමාත්‍යාංශය මඟින් ඉටු කරනු බවයි.

එමෙන්ම ගංවතුර නිසා වැව් සහ ඇළවේලි රැසක් ද විනාශ වී ඇති අතර ඒවා කඩිනමින් ප්‍රතිසංවර්ධනය කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය මඟින් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News