කළුතර සෞඛ්‍ය සංවර්ධනයට රුපියල් මිලියන 20,000ක්

Share

පසුගිය වසර 03 තුළ කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 120 ක් ක්‍රියාත්මක කර ඇත.

එම ව්‍යාපෘතිවල වටිනාකම දල වශයෙන් රුපියල් මිලියන 20,000 ඉක්මයි. කළුතර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා පමණක් රුපියල් මිලියන 12,000 ක් පමණ වැය කර ඇත.

එම රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම, නව වෛද්‍ය වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීම, ඖෂධ ගබඩා ගොඩනැගිල්ලක් ඉදිකිරිම ඇතුලු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙයි. ඇතැමි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියේ දී විවෘත කිරීමට නියමිතය.

නෙදර්ලන්තයේ ආධාර මත කළුතර මහ රෝහලට අනුයුක්තව ළමා හා මාතෘ රෝහලක් ද ඉදිකෙරෙමින් පවතී. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4605 කි.

මීට අමතරව බේරුවල දිසා රෝහල සඳහා ප්‍රධාන ගොඩනැගිල්ලක්, ජල ටැංකියක් ඇතුලු වෛද්‍ය වාට්ටු ද ඉදිකෙරන අතර, අළුත්ගම ග්‍රාමීය රෝහලට නව දෙමහල් වාට්ටු සංකීර්ණයක් ඉදිකරනු ලබයි. දර්ගා නගරයේ රෝහල සඳහා මහල් 03 කින් සමන්විත වාට්ටු සංකීර්ණයක් ඇතුලු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

මීට අමතරව හොරණ මුලික රෝහල අංග සම්පුර්ණ රෝහලක් ලෙස සංවර්ධනය කෙරෙයි. බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන කළුතර දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සහ වතු රෝහල් ද සංවර්ධනය කිරිමට පියවර ගෙන ඇත. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 8000 කට අධික වෙයි.

කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති අතර, එහිදී මෙම කරුණු අනාවරණය විය.

ආරම්භ කර ඇති ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට මෙහිදී උපදෙස් ලබාදෙන ලදි.

Read more

Local News