දෙමළ ජනතාව කළ යුතු දෙයක් ගැන සුමන්තිරන් කියයි

දෙමළ ඊළාම් සිහිනයක් තුළ ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තේ සිංහල ජනතාවගේ විශ්වසය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුළ ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊළාමකට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (13) දින යාපනය වීරසිංහම් ශාලාවේදී රටේ වත්මන් දේශපාලනික තත්ත්වය පිළිබඳ උතුරේ ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

“එදා එල්.ටී.ටී.ඊය මේ ප්‍රදේශ පාලනය කරපු කාලයේ තනි රටක් ඉල්ලපු අවස්ථාවේදී අපිට තනි රටක් එපා එකීය රටක් තුළ විසඳුම් ලබා දෙන්න කියලා එදා කාට හරි වේදිකාවකට නැගල කියන්න පුළුවන් වුණාද? එහෙම කියලා එයාට පන පිටින් ඉන්න පුළුවන් වුණාද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ දිනවල යුද්ධය අවසන් කිරීම සඳහා උදව් ඉල්ලමින් ලෝකයට සහ ඉන්දියාවට දීපු පොරොන්දු මොනවද ?.

අපිට මතකයි යුද්ධය අවසන් කිරීමට උදව් කළොත් බලය බෙදීම අර්ථවත් ලෙස කරනවා කියලත්, 13 වන සංශෝධනය බලාත්මක කරමින් ඊට එහා ගිය විසඳුමක් ලබා දෙනවා කියලත් මහින්ද මහත්මයා ඒ කාලේ කිව්වා.

දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නේ නෑ නේද ? කාලයා‍ගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතා වෙනස් ‍වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම් වලට අපි විරුද්ධවීමෙන් ඵලක් නැහැ. අපි ඒකීය රටක් ඇතුලේ ජීවත් වෙන්න සූදානම් කියලා ‍සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊළාම් සිහිනයත් එක්ක අපි ජීවත් වීම වැරදියි. අපි කියන දේවලුත්, අපි හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන් සිද්ධ වෙන්න ඕ‍නේ.”