බැසිල්ගේ නඩුව මාර්තු 28 වනදාට කල්යයි

Share

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව විභාග කිරීම මාර්තු මස 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද(21) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ එම නඩු විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති අතර ඊට අදාළ විභාගයක් අභියාචනාධිකරණය හමුවේ පැවැත්වීමට නියමිතව ඇති බවයි.

ඒ අනුව අභියාචනාධිකරණය තීරණය ලැබෙන තුරු එම නඩුවේ විභාගය මාර්තු මස 28 වනදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියම කළේ.

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැය කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

Read more

Local News