හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වාට නොතීසි නිකුත් කෙරේ

Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ලබන මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා වෙත නොතීසි නිකුත් කළේය.
අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව චන්ද්‍රගුප්ත තේනුවර, හේවා වඩුගේ සිරිල් සහ ප්‍රශාන්ත ගුණවර්ධන යන මහාචාර්යවරු තිදෙනා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් අද(23) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මෙම පැමිණිල්ල අද විජිත් මළල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර හිටපු අගවිනිසුරු සරත්. එන් .සිල්වා මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මෙම නඩුව විභාගයට ගැනීම සඳහා සූදානම් බවයි.
කෙසේ වෙතත් මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු පෙන්වා දුන්නේ මෙම චෝදනා විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ සහාය ද ලබා ගැනීම බවයි.
ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මස 7 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කළේය.
එදින නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයකුටද අධිකරණ හමුවේ පෙනී සිටින්නැයි දන්වා අධිකරණය තවත් නොතීසියක් නිකුත් කළේය.
පැමිණිලිකරුවන් කියා සිටින්නේ ඉකුත් ඔක්තෝම්බර් මස 18 වනදා කොළඹ පැවති මහජන රැලියකදී අදහස් දැක්වූ හිටපු සරත් එන් සිල්වා මහතා අධිකරණයට අපහාසාත්මක වන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.
ඔහු අධිකරණයට අපහාසයක් සිදු කරන බවට තීන්දු කොට සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News