බිමල් රජයෙන් ඉල්ලීමක් කරයි

15

රට තුළ ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන අලුතෙන් පිහිටුවීම නතර කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා රජයෙන් ඉල්ලා තිබේ.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ණය සහනදායක (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියනකට වඩා ණය වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, “ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් ණයගැතිභාවයට ලක්ව තිබෙනවා. එය ග්‍රාමීය නාගරික වතු ආදී වශයෙන් සලකා බැලීමේදී විශාල ප්‍රමාණයක් වෙනවා. ඒ වගේම ණය ගෙවා ගැනීමට නොහැකිව සියදිවි හානි කරගත් විශාල පිරිසක් ඉන්නවා.

ඒ වගේම ඇතැම් ආයතන ණය අයකිරීමේ පොලී අනුපාත විශාල වශයෙන් ඉහළ දමා තිබෙනවා. ගිය වසර් යාපනය දිස්ත්‍රික්කයේ 60 දෙනෙක් ණය ගෙවාගන්න බැරිව සියදිවි නසාගෙන තිබෙනවා.

ඒ අතරින් බහුතරය කාන්තාවන්. මේ හේතුවෙන් ක්‍ෂුද්‍ර මූල්‍ය ණය නිසා වැඩිපුරම සුරාකෑමට ලක්වෙන්නේ කාන්තාවන්. මේ සියල්ල නීරීක්ෂණය කරලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනය අලුතෙන් පටන් ගැනීම නවත්වන්න කියලා. ඒ වගේම දැනට තියෙන ආයතන සියල්ල  සමාලෝචනය කරලා මේ ආයතන ගැන පිළිවෙළක් හදන්න.

නැත්තම් ජනතාව තවත් අසරණ වෙනවා.ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීම නිසා අසරණ වූ ජනතාවගේ පැමිණිලි භාර ගැනීමට සියලු ප්‍රාදේශීය සභාවල මණ්ඩලයක් ඇතිකරන්න. ඒ වගේම ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගැන දැඩි නීති පනවන්න” යැයි ප්‍රකාශ කළේය.