නිදන් හෑරූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු 7ක් අත්අඩංගුවට

වැල්ලවාය ඌව කුඩාඔය පොලිසිය විසින් ඇතිලිවැව පැරකුම් මාවත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිදන් සොයා කැණීම් කරමින් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් එම ඉඩම තුළ නිදන් සොයා කැණීම් සිදු කරන බවට පොලිසියට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හාලිඇල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු සිටින බව කුඩාඔය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හාලිඇල්ල, බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25, 63ත් අතර පසුවන අතර සැකකරුවන් සතුව තිබූ තිරෝද රථයක් සහ කැණීම් සඳහා භාවිත කළ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට අද(28) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ පිළිබඳ ඉදිරි විමර්ශන කුඩාඔය පොලිසිය සිදු කරයි.