විදුලිබල ක්ෂේත්‍රයේ ගැටළු ?

Share

විකුණන මිලට වැඩි මිලකට විදුලිය නිපදවන වැඩසටහනකට යොමුවන්නට මට කිසිම අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඊයේ(28) පෙරවරුවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවති, හරිත බලශක්ති ශූරයා – 2019 තරඟාවලිය ප්‍රකාශයට පත්කිරීමේ උත්සව අවස්ථාවට සහභාගිවූ අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම ජනතාව විදුලිය සඳහා මෙතෙක් අධික මිලක් ගෙවීම සම්බන්ධයෙන් ඉදිරියේදී යම් ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන් ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා,

“කිසිසේත්ම විකුණන මිලට වැඩි මිලකට විදුලිය නිපදවන වැඩසටහනකට යොමුවන්නට මට අවශ්‍යතාවක් නැහැ. මම නොදන්නා ක්ෂේත්‍රයක් නිසා, විදුලිබල මණ්ඩලයේ අවශ්‍යතාව කුමක්ද කියලා ඔවුන් ලිඛිතව දැනුම් දුන්නට පසුව ඒක සියළුදෙනා සමග සාකච්ඡා කරලා තමයි කටයුතු කරන්නේ.

විදුලිබල මණ්ඩලය අපට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදෙන එක සම්බන්ධයෙන් අපි සහතික විය යුතුයි. ඒ වැඩපිලිවෙල තමයි අපි මේ කරගෙන යන්නේ. මේ තුළින් මම ප්‍රධාන වශයෙන් අරමුණු කරන්නේ අපේ අහිංසක පාරිභෝගික ජනතාව මෙතෙක් අධික මිලක් ගෙවපු එකට යම් ප්‍රතිලාභයක් ලබාගන්න පුළුවන්  වැඩපිළිවෙලක් සකස් කරන්නයි.

සෑම ව්‍යාපාරයකම වගේ විදුලිබල ක්ෂේත්‍රයේත් ගැටළු තිබෙනවා. ගැටලු නිරාකරණය කරලා, තරඟකාරීත්වයට මුහුණ දීලා, අඩුම වියදමකින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලකට අප අවතීර්ණ වියයුතුයි.

මේ සඳහා මගේ මූල්‍ය දැනුම පාවිච්චි කරලා, හැමතැනම පුළුවන් තරම් වියදම් අඩුකරගෙන කටයුතු කරගෙන යනවා. මේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන් එකතුවෙලා නව උනන්දුවකින් වැඩකිරීම මට ලොකු ශක්තියක් වෙලා තිබෙන” බවයි.

Read more

Local News