සෙනරත්ගේ නඩුව හෙටට කල්යයි

Share

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව අද(29) කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.
මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.
මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ, සමාගම් ලේකම්වරිය ලෙස කටයුතු කරන නීතිඥ රුවනි ධර්මවර්ධන මහත්මියගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි.
සාක්ෂිකාරිය අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපති වරයා ලෙස කටයුතු කළ අවධියේ මෙරට සංචාරක ක්ෂේත්‍රය සඳහා වූ ආයෝජන පුළුල් කිරීමට රජය ගෙන තිබුණු ප්‍රතිපත්ති තීන්දුවෙන් මත ඊට අදාලව තම සංස්ථාවද සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන කෙරෙහි අවධානය යොමු කළ බව කියා සිටියා.
ඒ අනුව තම සමාගමේ ආයෝජන කමිටුව ගත් තීරණයකට අනුව කොළඹ හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 5 ක මුදලක් ආයෝජනය කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව ද සාක්ෂිකාරිය පැවසුවාය.
එම හයට් හෝටල් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කළ මුදල් අවභාවිතාවක් සිදුවූ බවට තම සමාගම කිසිදු අවස්ථාවක පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් නොකළ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ සභාපති ලෙස කටයුතු කළ අවධියේ ඒ වෙනුවෙන් ඔහු වැටුප් හෝ දීමනා කිසිවක් ලබා නොගත් බවද සාක්ෂිකාරිය වැඩිදුරටත් සඳහන් කළාය.
වැඩිදුර විමසීම හෙට(30) දිනට කල් තැබුණා.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ  මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.

Read more

Local News