රවිරාජ් ඝාතනයේ නඩු තීන්දුවට එරෙහි පෙත්සම යළි කැඳවයි

Share

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුව නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එම මන්ත්‍රීවරයාගේ බිරිඳ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අප්‍රේල් මස 04 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නඩරාජා රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ වන ශෂීකලා රවිරාජ් විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම අද(30) දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී මෙම පෙත්සමේ දෙවන වගඋත්තරකරු ලෙස නම් කර සිටින නාවික ලුතිනන් කොමාණ්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී වගඋත්තරකාර ප්‍රසාද් හෙට්ටිආරච්චි අධිකරණයට දන්වා සිටියේ තමා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින බවත් ඒ අනුව නීතිඥවරයෙකු ඉදිරිපත් කිරීම සඳහා මාස දෙකක පමණ කාලයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව අභියාචනා පෙත්සම අප්‍රේල් මස 4 වනදා කැඳවීමට නියම කළ අභියාචනාධිකරණ විනිසුරුවරුන් එදිනට නීතිඥවරයකු යොමු කිරීමට පියවර ගන්නා මෙන් ද දෙවන වගඋත්තරකරුට නියම කළේය.
රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර තිබෙන්නේ රවිරාජ් ඝාතන නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබියදී එය ජූරි සභාවක් ඉදිරියේ විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බවයි.
එබැවින් අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණ ජූරි සභාවක් විසින් දුන් තීන්දුව අහෝසි කර ඔවුන් වරදකරුවන් කරන ලෙස පෙත්සම්කාරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Read more

Local News